Featured ICC Cricket World Cup Media Centre News

සුභ පෙරනිමිති පහළ වුණු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පසුවදන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට සතියක කාලයක් ඉතිරිව තිබියදී අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන නිමාවට පත්වීම සැබෑවකි. එහෙත් ජාත්‍යන්තර එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ නව වැනි ස්ථානයේ රැඳී සිටිමින් ලෝක කුසලාන සටන ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පෙන්නුම් කරන ලද වර්ධනයත් සමඟ එම ශ්‍රේණිගත කිරීමේ 08 වැනි ස්ථානයද, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 06 වැනි ස්ථානයට පත්වීමට සමත්වීම ඇතුළු ධනාත්මක කරුණු රැසක් උකහාගත හැකි තරගාවලියක් බවට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පත්වූ බව නොරහසකි.

මුලු ලෝකයාම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අවතක්සේරුවන් හෙවත් තරගාවලියේ එකම ජයග්‍රහණයක් හෝ ලබාගත නොහැකි කණ්ඩායමක් ලෙසින් ‘හංවඩු’ ගැසූ වටපිටාවක  ඒ සියල්ලටම දක්ෂතා වලින් පිළිතුරු ලබාදෙමින් ජගත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්වීම එම කරුණු අතර ප්‍රධාන වේ. දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය  පමණක් නොව මෑතක ටෙස්ට් වරම් ලද ඇෆ්ගනිස්තානයද ශ්‍රී ලංකාවට ‘පාරම්බාමින්’ මෙවර තරගාවලියට අවතීර්ණ වූ බව කොයි කවුරුත් දන්නා කරුණකි. එවන් කෙනෙහිළිකම් මැද ලෝක කුසලාන සටන දියත් කළ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ සිංහ රැළ එකී රටවල් සියල්ල අභිබවමින් 6 වැනි තැනට පත්වීම සැබැවින්ම අගය කළ යුත්තකි.

ඒ එක් කරුණකි. මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී තිබූ බරපතලම කාරණාව බවට පත්ව තිබුණේ කණ්ඩායමට නිත්‍ය නායකයකු නොමැති වීමයි. ගෙවී ගිය වසර 2 ක පමණ කාලය ඇතුළත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම හිස මතට මාරු වුණු නායකත්වයේ ඔටුන්නට ස්ථීරසාර විසඳුමක් හෙවත් 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් නිත්‍ය නායකයකු සොයාගැනීමට හැකි වීම අනෙක් කරුණ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයත්වයට දිමුත් කරුණාරත්නව පත් කෙරෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම පිටත්ව යෑමට දින කීපයකට ප්‍රථමය. කණ්ඩායමේ නායකත්වය ලබාදීමේදී වූ මූලිකම බාධාව බවට පත්වූයේ ඉකුත් 2015 වසරෙන් පසු ගෙවී ගිය කාල මුළුල්ලේම එකම එක තරගයකට හෝ දිමුත් ක්‍රීඩා නොකිරීම විය. එවන් තත්ත්වයක් යටතේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අවතීර්ණ වීමේදී වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි වුවත්, තේරීම් කමිටුව බලාපොරොත්තු වූ දේ ඉහටත් ඉහළින් සපුරවා ලූ දිමුත්, කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙන්ම ආරම්භක පිතිකරුවකු ලෙසින් සිය වගකීම අකුරටම ඉටු කිරීමට සමත්වූවේය. එපමණක් නොව කණ්ඩායමට එක්ව සිටින ‍ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ ක්‍රීඩකයන් අතර වූ සහ සම්බන්ධතාව වැඩි කරමින් කණ්ඩායම තුළ වූ එකමුතු භාවය වැඩි කරලමින් කටයුතු කිරීමද පැසසුම් සහගතය.

නවසීලන්තය සමඟ පැවැති සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136 කට සීමා වුවත් අනතුරුව ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තරගයේදී සැලකිය යුතු මට්ටමේ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා පිල තරගාවලියේ පළමු ජය වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ ‘පුරාජේරු’ බිංදුවට ඇද දමමිනි. එම තරගයට පසුව පාකිස්තානයටත් බංග්ලාදේශයටත් එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය හරස්වීම මත පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණි.

එම තත්ත්වයද ශ්‍රී ලංකාවට කීප අතකින්ම අවාසි සහගත තත්ත්වයක් ගෙන දුන් අතර දින 11 ක්ම නිකරුණේ කාලය ගත කිරීමට සිදුවීම ඒ අතරින් ප්‍රධාන විය. වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ප්‍රතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුනු 335 ක් රැස් කර ගැනීමට සමත් වූ නමුත්, ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් ලබාගන්නා ලද සාර්ථක ආරම්භය සමඟ තරගය ජය ගැනීමේ වැඩි වාසි ශ්‍රී ලංකා පිල සතු විය. එම තරගයේදී සාර්ථක හඹා යෑමක නිරත වූ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා, 33 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 186 ක් වැනි වේගවත් ලකුණු සංඛ්‍යාවකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරදීම මත ලෝක ශූරයින්ව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පිලට හොඳම අවස්ථාවක් නිර්මාණය වී තිබිණ. එහෙත් මැද පෙළින් පන්දුවට පහර දුන් පිතිකරුවන් අනවශ්‍ය පීඩනයනකට ග්‍රහණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්වීම නිසා එම වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

මීළඟට එළැඹියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමඟ තරගයයි. එම තරගයට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රධාන කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබන බවට වූ අනාවැකි පළ කළ හැකි ඒක පාර්ශ්වීය තරගාවලියක් බවට පත්වන ලකුණු පහළ කළ තිබුණද එය සෙසු කණ්ඩායම් වලටද යළි විවෘත තරගාවලියක් බවට පත්වූයේ ශ්‍රී ලංකා පිල විසින් එංගලන්තයට එරෙහිව වූ සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කිරීමත් සමඟය. ජව සම්පන්න ක්‍රීඩකයින් රැසකගෙන්ම සැදුම් ලත් එංගලන්ත පිල පරාජය කරනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළ නමුත් ඔවුන් පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට දෝලනය වන්නට විය. ඇතැමුන් එම හඳුන්වන ලද්දේ මෙවර තරගාවලියේ සිදුවූ දැවැන්තම පෙරැළිය ලෙසිනි.

අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු වන ලද්දේ ද එංගලන්තයට එරෙහිව ලද එකී සුවිශේෂී ජයග්‍රහණය නිසාය. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් අත හැර දැමුණු තරග 2 වූ පාකිස්තානය සහ බංග්ලාලදේශය අතර තරග ක්‍රීඩා කිරීමට හැකි වූයේ නම් කෙතරම් වටින්නේද යන්න තදින්ම දැනෙන්නට වූයේ එම ජයග්‍රහණයෙන් අනතුරුවය. ඉන්දියාව සමඟ පැවැති තරගයෙන් එංගලන්තය පරාජය වූයේ නම් මෙකී තත්ත්වය අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලද කණ්ඩායම් හතරේ කතාව වෙනස් වන්නට ඉඩ නොතිබුණාද නොවේ.

ලෝක කුසලාන තරගාවලියන්හිදී අවශ්‍ය වේලාවට නැගී සිටීමේ සාඩම්බර ඉතිහාසයකට උරුම කම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ඨ පිති ප්‍රහාරයක නියැළුණු කෝඩුකාර ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව දීප්තිමත් ප්‍රතිචාරයක් දැක්වීම, ලෝක කුසලාන තරගාවලියේදී අප ලද තවත් ධනාත්මක කරුණකි.

Avishka Fernando and Angelo Mathews vs Windies_D3S5546x

තවමත් 21 වැනි වියේ පසු වුවද ඉහළම පන්තියේ පිතිකරුවකු හැඳින්වීම සඳහා යොදා ගනු ලබන කුසලතා සියල්ලෙන්ම අවිශ්ක පරිපූර්ණව සිටියේය. පන්දුවට පහර දීමේදී හිස ස්ථාවරව තබා ගැනීම, පාද චලනය, ශරීරයේ සමබර තාව තබා ගනිමින් පන්දුවට පහර දීමේ හැකියාව සහ ඉක්මනින් කෙටි පන්දු තෝරා ගැනීමට අවිශ්ක සතු හැකියාවන් විස්තර විචාරකයින්ගේ දැඩි අවධානය දිනා ගනු ලැබූ කරුණු බවට පත්විය.

අවිශ්කගේ ඉනිම ලකුණු 49 දී නිමාවට පත් වුවද ලකුණු 03 කට පළමු කඩුලු 2 දැවී ගොස් තිබුන පසුබිමක එම ඉනිමේ වටිනා කම කියා නිම කළ නොහැක. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 232 ක ලකුණු සංඛ්‍යාව ගොඩ නගා ගැනීම සඳහා වූ ශක්තිමත් පදනම එක් කරන ලද්දේ අවිශ්කගේ ඒ සුවිශේෂී ඉනිමෙනි.

අවිශ්ක සතු හැකියාව අහම්බයක් නොවන බව ඔහු නැවත වතාවක් ඔප්පු කරන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීය. තම 9 වැනි තරගයේදීම පරිණත පිතිකරුවකු බව පෙන්වූ අවිශ්ක එම තරගයේදී පන්දු 103 කට මුහුණ දෙමින් සිය මංගල ශතකය (ලකුණු 104) වාර්තා කර ගන්නා ලද්දේ ලෝක කුසලාන තරගාවලියක ශතකයක් ලද ලෝකයේ තෙවැනි සහ ලංකාවේ ළාබාලතම ක්‍රීඩකයා බවට වූ වාර්තාවද තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි.

දීර්ඝ ඉනිම ක්‍රීඩා කිරීමට අපොහොසත් වුවද පිතිකරුවකු ලෙස කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වීමද සතුටට කරුණකි. අවාසනාව තවමත් කුසල්ගේ පසුපසින් පැමිණීම දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කිරීමට වැට බැඳිණි. එහෙත් පිතිකරුවකු ලෙස කුසල් මෙන්ම ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් වාර්තා කරමින් ඇන්ජලෝ මැතිව්ස් යළිත් ලකුණු අතරට පැමිණීම, පිතිකරණ අංශය පැත්තෙන් සුභ පෙර නිමිත්තකි.

Angelo Mathews 100

ශ්‍රී ලංකාවේ පිතිකරණ ලැයිස්තුව පිළිබඳව වත්මන් තේරීම් කමිටු සභාපති මෙන්ම කණ්ඩායම් කළමනාකරු වූ අසන්ත ද මෙල් මහතා ද අදහස් දක්වමින් පවසා සිටියේ අංක 1 සිට 6 වැනි ස්ථානය දක්වා වූ පිතිකරණ ලැයිස්තුව පිළිබඳව සතුටට පත්විය හැකි බවයි.

ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම උපායශීලීත්වය විශිෂ්ඨ තලයක පවත්වාගෙන ගිය ලසිත් මාලිංග පන්දු යැවීමෙන් ඉදිරියට පැමිණි අතර එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී ජොස් බට්ලර්ව දවා ගැනීම වෙනුවෙන් යොදන ලද උපක්‍රමය ඔහුගේ උපායශීලීත්වය මොනවට විදහා පාන්නක් විය. අර්ධ කාලීන පන්දු යවන්නෙක් ලෙසින් ධනංජය ද සිල්වා කණ්ඩායමට එක් වුවද පන්දු යැවීමෙන් ඔහු මේ වන විට දක්වා ඇති පරිණතත්ත්වයද ශ්‍රී ලංකාවට කොළ පැහැයක් එක් කරවන්නකි.

දැන් සියල්ල අහවර වී තිබේ.ලෝක කුසලානයේ තවත් ඉතිරිව ඇත්තේ ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්තය අවසන් පූර්ව සටනේදී තරග වදින හැටි ආලින්දයේ සිට නැරඹීමය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙම මස අගදී තවත් තරගාවලියක් අභිමුවට පැමිණ තිබේ. ඒ බංග්ලාදේශය සමඟින් වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව දැන් නැවතත් සිතා බැලිය යුතු සහ ගොඩ නගා ගත යුතු බොහෝ දේ තිබේ. එහිදී මූලිකම ඉලක්කය බවට පත්වන්නේ 2023 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශක්තිමත් සහ සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීම වේ. කණ්ඩායමක් සාර්ථක වීමට වඩාත් වැදගත් වන්නේ කාලය සහ නිදහසය.  ඒ වෙනුවෙන් අප වටා එක් කර ගත යුතු වන්නේ කුමන සාරයෙන් සහිත වූ දක්ෂතාවයන් ද යන්න එළැඹෙන තරගාවලියේ සිටම වටහා ගනිමින් කටයුතු කළ යුතු කිරීම එළැඹෙන තරගාවලියේ සිටම ආරම්භ කළ යුතුය.
පිතිකරණ දක්ෂතා
ක්‍රීඩකයා          තරග ඉනිම නොදැවීම් ලකුණු වැ.ල. සාමාන්‍ය  මු.දු.ප. ප්‍ර.වේග  100    50
කුසල් පෙරේරා   7          7            0          273         78       39.00         246     110.97     0        3
ඇන්ජලෝ මැතිව්ස්        7            4            1          244        113         40.66      314    77.72    1 1
දිමුත් කරුණාරත්න      7            7             1              222             97              37’00         311       71’38      0  2
අවිශ්ක ප්‍රනාන්දු 4          4            0          203        104      50.75         192     105.72     1        0
ළහිරු තිරිමාන්න           5            5            1          143         53          35.75      163    87.73    0 1
කුසල් මෙන්ඩිස්   7          7            0          143         46       20.42         213      67.13      0        0
ධනංජය ද සිල්වා 7          7            3          108        29*      27.00         174      62.06      0        0
තිසර පෙරේරා    6          6            0           61          27       10.16          64       95.31      0        0
ඉසුරු උදාන         7          7            1           45          17        7.50           75       60.00      0        0
සුරංග ලක්මාල්   3          3            2           27         15*      27.00          33       81.81      0        0
මිලින්ද සිරිවර්ධන          1            1            0           19          18           6.33        51     37.25    0 0
ලසිත් මාලිංග      7          5            0           11           4          2.20           28       39.28      0        0
නුවන් ප්‍රදීප්           3          3            1           01          1*          0.0            12        8.33       0        0
කසුන් රජිත         2          –             –             –             –             –               –             –          –        –
ජෙෆ්රි වැන්ඩර්සි 1          –             –             –             –             –               –             –          –        –

Related posts

Malinga farewell hype as Sri Lanka look for winning send off against strong Bangladesh

Web Admin

දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට බැඳෙයි

Web Admin

Australia outplay Sri Lanka by 134 runs

Web Admin