Featured News Sinhala Column

“පරදින්න අපි කවදාවත් ක්‍රිකට් ගහන්නේ නෑ” නුවන් ප්‍රදිප් කියයි

කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු පරදින්න ක්‍රීඩා කරන්නේ නෑ. සෑම  ක්‍රීකට් ක්‍රීඩකයකුම  පිටියට පිවිසෙන්නේ  ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිවයි. එවැනි තත්වයක් තිබියදීත් ඇතැම් කොටස්, ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික ධනය නිකරුණේ විනාශ කරන්නේ යැයි චෝදනා කරන්නේ නම් එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී අපට මෙතරම් දුරට ඒමට අවස්ථාව උදාවූයේ කණ්ඩායම් හැගීමෙන් එකමුතුව ක්‍රීඩා කිරීමෙනුයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වය ද ඊට විශාල පිටුවහලක් වූ බවද ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ප්‍රකාශ කරයි.

විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලංකිකයන් මෙරටට විදේශ විනිමය ගෙන එන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩකයන් ද මව්බිමට විශාල ලෙස විදේශ විනිමය ගෙන එනවා. ඔවුන් එතෙරත් මෙතරත් මූල්‍ය සම්පත් මෙන්ම කීර්තියත් රටට ගෙන එනවා. ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළව විශාල සේවක සංඛ්‍යාවක්ද අද සේවයේ නිරතව සිටින දක්නට හැකියි. දුප්පත් දරුවන් විශාල ප්‍රමාණයක් මේ ක්‍රීඩාවට සම්බන්ධව සිටිනවා. ඔවුනට වුවද යම්කිසි දීමනාවක් ලබාගත හැකිවන්නේ නිසිවයසට පැමිණ ක්‍රීඩා සමාජයක් නියෝජනය කිරීමෙනුයි. ඇතැම් පිරිස් සාධක නොමැතිව නිතර විවේචනය පමණක් කිරීමෙන් පමණක් සිදුවන්නේ අනාගතයේදී ක්‍රීඩාවට සම්බන්ධ වන ක්‍රීඩකයන්ගේද අඩුවීමක් ඇතිවීමයි.ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් රැකගැනීමට විශාල උත්සහයක් ගත්තත් ඔවුනට මෙය තනියෙන් සිදුකළ නොහැකියි. මේ හේතූන් මත ක්‍රීඩකයන්ට නිකරුණේ දොස් පැවරීම වහා නතර කළ යුතුව ඇතැයි නුවන් ප්‍රදීප් කියයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී අපට සෑහෙන දුරකට ඒමට අවස්ථාව උදාවූවා. එකමුතුව නිදහස්ව ක්‍රීඩා කිරීම ඊට තවත් හේතුවක්. ක්‍රිකට් ක්‍රීඩකයනට දස්කම් දැක්වීමට පීඩනයෙන් තොරවීම ද ඉතා වැදගත්වනවා. සෑමවිටම පිතිකරුවකුගෙන් විශාල ලකුණු ප්‍රමාණයක් හා පන්දු යවන්නකුගෙන් වැඩි කඩුලු සංඛ්‍යාවක් අපේක්ෂා කිරීමෙන් සිදුවන්නේ ඔවුන් පීඩනයට ළක්වීමයි. අසාර්ථක වන ක්‍රීඩකයෙකුව දැඩි දෝෂ දර්ශනයට ළක් නොකිරීමෙන් ඔහුට ඉක්මණින්ම යථා තත්ත්වයට පත්වීමට හැකිවනවා.තරගයක් පරදින විට අපට දුකයි.ජය ගන්නාවිට සතුටුයි. එය ස්වාභාවිකදෙයක් හිතාමතා තරග කෙදිනකවත් පරාජය නොවන බව නුවන් ප්‍රදීප් පවසයි.

1986 ඔක්තෝම්බර් 19 වැනිදා කටානේදී උපත ලද නුවන් ප්‍රදීප් කටානේ විද්‍යාලෝක විදුහලේ දී වාණිජ අංශයේ උසස්පෙළ තෙක් අධ්‍යාපනය හැදැරීය. පාසල්වියේ දී ඔහු කෙදිනකවත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවීය. විවේකයේ දී මිතුරන් සමග ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. එහෙත් විදුහලේ මීටර 400 මීටර 800 සහ මීටර 1500 සූරයාවූයේ නුවන් ප්‍රදීප්ය.එම ඉසව්වන්හි පාසලේ සැමදා ප්‍රථම ස්ථානය දිනා ගත්තේ නුවන්ය. පාසලේ එම තත්ත්වය කටාන අධ්‍යාපන කලාපය තෙක් පාසල් වියේ දී ඔහු රැක ගැනීමට සමත්විය.

නුවන්ගේ පියා ඇන්ටනි ප්‍රනාන්දුය. මව ලැටීෂියා පද්මිණිය.ඔහුට වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකු පමණක් සිටී. නිරෝෂා දිල්රුක්ෂි සහ නිලූකා දමයන්ති යන අක්කලා දෙදෙනාම විවාහකය. නුවන් ප්‍රදීප් ලබන මස සැප්තැම්බර් මැද භාගයේ දයාබර පියෙකුවේ. බිරිද නිලක්ෂි චම්පිකා සිය කුළුදුල් දරුවා ලබන මස  බිහිකිරීමට නියමිතය. නුවන්ට නිලක්ෂි හමුවූයේ මීට වසර හතරකට පෙර ඇගළුම් කර්මාන්තශාලාවකදීය. මගේ අම්මා තාත්තා වත්පොහොසත් අය නොවේ. එදිනෙදා වේතන වලින් මුදල් ඉපැයූ අයයි. මා ක්‍රිකට් ක්‍රීඩා කළේ අම්මා තාත්තා දුන් ඒ මුදලිනුයි. මුලින්ම අපහසුවෙන් ඉදිරියට අවේ ඒ ආකාරයටයි. පසුව ක්‍රිකට් ආයතනය ක්‍රමයෙන් උදව් කළා.

නුවන් විවේක ලත් සෑමවිටකම මිතුරන් සමග ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට ප්‍රියකළේය. ඔහුට වසර විස්ස වන විට ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක ඔහුව හදුනාගත්තේය. පසුව චම්පක රාමනායක මුණගැසිණි. වසර තුනක් වැනි කාලයක් තුළ නුවන් නතර වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටද ඇතුලුවීමෙනි. මුලින්ම බී.ආර්.සී.කණ්ඩායමෙන් බී.කොටසේ තරගාවලිය නියෝජනය කළ ඔහු පසුව බ්ලුම්ෆීල්ඩ්, ටැමිල්යුනියන් කණ්ඩායම් නියෝජනය කළේ පළමු ශ්‍රේණියේ තරගාවලියේ දීය. ඒ සමගම බස්නාහිර උතරු, ශ්‍රී ලංකා සංවර්ධන පිල, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, ටෙස්ට් එක්දින හා 20-20 දොරටුද ඔහුට විවෘතවිය.

මා කවදාවත් මාධ්‍යයට කතාකර නෑ. රූපවාහිනි සාකච්ඡා සහ පුවත්පත් මා සම්බන්ද කර ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මා ඉන් බැහැරවූයේ මා පවසන දෙය වැරැදි ආකාරයට ප්‍රචාරය වුවහොත් එය      අවැඩක් වන නිසයි. වෙනත් හේතුවක් නොමැත. මෙය මා මාධ්‍යයකට කතා කරන ප්‍රථම අවස්ථාවයි.

නුවන් ප්‍රදීප් ටෙස්ට් තරග 28කට සහභාගිවී ඉනිම 53කදී කඩුලු 70ක් ලබා ඇත. එහි හොදම පන්දු යැවීම ලකුණු 136කට කඩුලු හයකි. එක්දින තරග 40ටකට සහභාගිවී ඉනිම 38කදී කඩුලු 52ක් ලබා ඇත. එහි හොදම පන්දු යැවීම ලකුණු 31කට කඩුලු හතරකි. 20-20 තරග නවයකදී කඩුලු හතක් (හොදම පන්දු යැවීම ලකුණු 37ට කඩුලු 2යි) ලබා ඇත.

“පීඩනයෙන් හා ආතතියෙන් තොරව ජීවත්විමට මම හරිම කැමතියි. විවේක ලබන සෑම වේලාවකම පාසලේ මිතුරන් සමග ගමේ පිට්ටනියේ මම ටෙනිස් බෝල් ක්‍රිකට් ගහනවා. එහිදි විහිළු කරගැනීමෙන්, විවෘතව සිනහවිමෙන් පීඩනය ඉවත්ව සැහැල්ලුවක් දැනෙනවා. අනික ජාතික කණ්ඩායමේ මා පුහුණු වන විට සියයට දෙසියයක්ම උපරිමයෙන් පුහුණුවනවා”. එවිට තරගයකදී ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වන සියයට සියය හෝ එකසිය පණහක් හරි දීමට හැකියැයි නුවන් ප්‍රදීප් පවසයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

එක්දින තරගාවලියට පෙර බංග්ලාදේශය පුහුණු තරගයකට සැරසෙයි

Web Admin

2nd ODI reschedule to 30th September

Web Admin

Sri Lanka 187/5 in second innings vs. Bangladesh

Web Admin