Featured Media Centre News Sri Lanka tour of Pakistan 2019

ක්‍රිකට් වසන්තය උදාකර දීම ගැන පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා ශ්‍රී ලංකාවට තුති පුදයි

Chamila Karawita reporting from Karachi

ආරක්ෂාකව සම්බන්ධ පැන නැගුණු ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර වරම අහිමිවූ පාකිස්තානයට දශකයකට පසු යළිත් එම අසිරිය පැමිණ තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට ගොස් තරග වැදීමට කැමැත්ත පළ කිරීමත් සමඟය. දස වසරකට ආසන්න කාලයක් තිස්සේ ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වීමට නොහැකිව තිබූ පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකා පිල ගොස් තරග කිරීම යණු අඳුරු වළාව පහ කරමින් ඉර පෑයූවාක් බඳු සිදුවීමක් බවට පත්ව තිබේ.

දෙදහස් නමය වසරේ මාර්තු 03 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථය ඉලක්ක කොට ලාහෝර් නුවරදී එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය, පාකිස්තානයට පමණක් නොව ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවටම දැවැන්තම කළු පැල්ලමක් එල්ල කරන සිදුවීමක් විය. පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකුට මරු කැඳවූ එම ප්‍රහාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වූ පෝල් ෆාබ්‍රේස් ඇතුළු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් 7 දෙනෙක් තුවාල ලැබූහ. උක්ත සිද්ධිය ප්‍රධාන කොට ලොව කිසිම කණ්ඩායමක් පාකිස්තානයට ගොස් තරග කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අර්බුදයක පැටලිණ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව සමග පාකිස්තානු ක්‍රිකට් ආයතනය සිදුකරන ලද සාකච්ඡා සාර්ථකවීමේ ප්‍රථිඵලයක් ලෙසින් පාකිස්තානයට  යළිත් ක්‍රිකට් වසන්තය උදා වී තිබේ.

වසර 10 ක් තිස්සේ බලාපොරොත්තුවෙන් පසු වූ ඒ සුවිශේෂී තරගාවලිය තම රටේ පැවැත්වීම වෙනුවෙන් සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තානු ක්‍රිකට් ආයතන සභාපති එෂාන් මානි මහතා සිය කෘතවේදීත්වය පළ කර සිටියේය. කරච්චි ක්‍රීඩාංගණයේ ඊයේ (30 දා) පැවැති දෙවැනි එක්දින තරගය අතරතුරදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා සිය කෘතවේදීත්වය පළ කරන අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් එම ප්‍රධාන වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

“පාකිස්තානයට ක්‍රිකට් ගෙන ඒම සම්බන්ධව ශ්‍රී ලංකාව ගනු ලැබූ උත්සාහයට කෘතවේදීත්වය පළ කළ යුතු හරිම වෙලාව මෙය යැයි මම හිතනවා. ඔවුන් දක්වනු ලැබූ සහයෝගය ඒ තරම් සුවිශේෂීයි. මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීම කෙතරම් වැදගත් ද කියන එක ගැන පූර්ණ අවබෝධයක් ඔවුන් සතුව තියෙනවා. ඔවුන්ගේ සහයෝගය නොලැබුණා නම් මේ තරගාවලියට අපිට පවත්වන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ සභාපති ශම්මි සිල්වා මහත්වරුන්ට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස මීට පෙර ඇවිල්ලා මෙහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් වෙලා මේ ලබා දුන්න සහයෝගය අපි ඇත්තටම අගය කරනවා” යි මානි මහතා පවසයි.

ලොව සෑම රටක්ම ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්වී තිබෙන බව පවසන එෂාන් මානි මහතා, ඒ සෑම දෙනාගේම ඒකායන බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ ත්‍රස්තවාද යටපත් කිරීමටය. මෙහිදී තරයේ අදහස් දක්වමින්, “ක්‍රයිස්චර්ච්හි සිද්ධියේදී තිබූ භයානක කම අපි දැක්කා. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වුණා. නමුත් මේ වගේ සිද්ධීන් ඕනෑම තැනක සිදුවන්න පුලුවන්. ප්‍රධානම දේ නම් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ඒ වෙනුවෙන් කැප කළ නොකළ යුතු වීමයි” පාකිස්තානු සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් සහයෝගය නිසා නුදුරු අනාගතයේදී අවම වශයෙන් තම කණ්ඩායම් පාකිස්තානයට යැවීම ගැන කතා කිරීම සඳහා සෙසු රටවලට අවස්ථාව දැන් විවෘත වී තිබෙන බවද පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියා අවධාරණය කර සිටියේය.

“ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් රොබර්ට්ස් මහතා මේ මස මුලදී ලාහෝරයට පැමිණියා. ඔහුව එවීම පිළිබඳව මම ඇත්තටම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඔහු හැරුණු කොට අයර්ලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රිකට් නිලධාරීන් දැන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා ආරම්භ කොට තිබෙනවා”යි පවසන මානි මහතා, “මේ වගේම එංගලන්තයත් ඔවුන්ගේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයත් මෙහෙට එවාවි. මේ සියලු කාරණා යෙදී තිබෙන්නේ ශ්‍රී ලංකාව මෙහි පැමිණ තරග කිරීමට තීරණය කිරීම නිසයි”යි වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසීය.  

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යනු අතීතයේ සිටම ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රටවල් දෙකකි. 1996 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙරටට පැමිණ තරග කිරීම ප්‍රතික්ෂේප කර සිටිද්දී ලෝක කුසලාන සැලසුම් පසෙකලා පාකිස්තානය සහ ඉන්දීය කණ්ඩායම් ඒකාබද්ධව මෙරටට පැමිණ ප්‍රදර්ශන තරගයකට සහභාගිවීම එම ශක්තිමත් සම්බන්ධතාවයන්හි මෑත කාලීන අප සතුව ඇති උදාහරණයයි.

අපේ ක්‍රිකට් ක්‍රීඩාව අවධානම් තත්ත්වයකට පත් වද්දී ඒ සඳහා උදව් උපකාර කිරීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වූයේ කිසිදු කොන්දේසි විරහිතවය. ඔවුන්ගේ එකම අභිප්‍රාය වූයේ කළාපයේ සිය සහෝදයා රැක ගැනීම පමණක් විය. එදා පටන් මේ අවාසනාවන්ත සිද්ධියට පාකිස්තානය මුහුන දෙනකම් අබමල් රේණුවක හෝ ප්‍රති උපකාරයක් ඔවුන් බලාපොරොත්තු නොවීමද මේ අවස්ථාව සඳහන් කළ යුතුමය.

පාකිස්තානු ක්‍රිකට් සභාපතිවරයා එසේ ශ්‍රී ලංකාවට ස්තූතිය පළ කර සිටිද්දී  මෙරට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද අදහස් දක්වමින් පවසා සිටියේ, දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ යහපත් සබඳතා පැවැති බවත්, ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මාස දෙකක් යෑමටත් පෙර පාකිස්තානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කිරීම ගැන පාකිස්තානු ක්‍රිකට් ආයතනය ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කර සිටියේය.

“පාස්කු ප්‍රහාරයෙන් පසු පැවැති කලබල කාරී වාතාවරණය යටතේ වුවත් වයස අවුරුදු 19 න් පහළ පිල ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කිරීම ගැන මම පාකිස්තානු ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. එය පාකිස්තානය, ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයක් විදියට සලකනවා”.

“ඇත්තටම හිතා ගන්න බැරි ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. ආරක්ෂාව සම්බන්ධව නම් කිසිම ගැටළුවක් නෑ. තාක්ෂණය අතින් අණදෙන මූලස්ථානයක් තියෙනවා. ඒක ඉඳලා ක්‍රීඩාංගණයට ඇතුළු වන කිලෝ මීටර 3 ක් පමණ ප්‍රමාණයේ ඉඳලා කැමරා සවි කරලා තියෙනවා. ඒ වගේ ආරක්ෂාවක් සපයලා තියෙනවා ක්‍රීඩාංගණය ඇතුළට. ඒ නිසා ආරක්ෂාව ගැන මෙහි කිසිම ගැටළුවක් නැහැ”යි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

 පාකිස්තානය විසින් ලබා දී තිබෙන ආරක්ෂාව සම්බන්ධව සෑහීමකට පත්වූ බව මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ බැවින් බොහෝ මාධ්‍යවේදීන්ගේ පොදු ප්‍රශ්නය බවට පත්වූයේ ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එවීමට ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන්නේද යන වග පිළිබඳවයි. දැන් ක්‍රියාත්මක ටෙස්ට් ලෝක ශූරතාවය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකරන්නේද යන්න මෙහිදී මාධ්‍ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගෙන් විමසා සිටියේය.

“ඇත්තටම අපිට ආරක්ෂාව සම්බන්ධව කිසිම දෙවරක් හිතන්න දෙයක් අපිට නෑ. නමුත් අපිට මෙහිදී හිතන්න දෙයක් තියෙනවා. ඒ තමයි ටෙස්ට් ලෝක ශූරතාවලිය. ඒ වගේම 2009 ප්‍රහාරයට ලක් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කීප පලක්ම තවමත් ටෙස්ට් කණ්ඩායමේ සිටිනවා. ඉතිං ඔවුන්ගෙන් තුන් හතර දෙනෙක් මෙහි පැමිණ තරග කිරීමට අකමැත්ත පළ කළොත් අපට සිද්ධ වෙනවා ඒ ගැන තවදුරටත් හිතන්න. ඒ වගේම දැන් ආරක්ෂාව සම්බන්ධව හිතලා ඔවුන් තරගාවලියට සහභාගිවෙන්න කැමැත්ත පළ කළොත් මම හිතනවා මෙහි පැමිණ තරග කිරීම ගැටළුවක් නොවෙයි කියලා”යි සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

මේ අතර එයට වැඩි යමක් එකතු කළ ක්‍රීඩා අමාත්‍ය වරයා, දැනට සංචාරයේ නිරතව සිටින ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ගිය පසු තමන්ට ලබා දුන් ආරක්ෂාව සහ පහසුකම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පවසනු ඇති බවත් ඒ අනුව අපිට ඒ අනුව ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීම කෙරෙහි ධනාත්මක අදහසක් තබා ගත හැකි බවත් සඳහන් කර සිටියේය.

1975 වසරේ පැවැති පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියට තරග කිරීමේ අවස්ථාව හිමි වුවද ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා තවත් වසර 7 ක් බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය. 1982 වසරේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම වෙනුවෙන් අද්විතීය මෙහෙයක් සිදු කළ රටවල් අතර පාකිස්තානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ පිළිබඳවද යළි මතකය අවධි කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතාය.

“පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ අත්වැල් බැඳගෙන ඉන්න රටවල් දෙකක්. 1982 වසරේදී අපේ රටට ටෙස්ට් වරම් දිනා ගැනීම වෙනුවෙන් ඔවුන් ලබා දුන් සහයෝගය තවමත් මගේ මතකයේ තියෙනවා. ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ජාතියක් හැටියට උණුසුම් හදවත් ඇති සහ ආගන්තුකසත්කාරවලින් සමන්විත පිරිසක්. අපි අමාරුවේ වැටිලා ඉන්න අවස්ථාවලදී පාකිස්තානය ඇවිල්ලා අපට උදව් කරපු ආකාරය අපිට තවමත් මතකයේ තියෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩාවේදී විතරක් නොවෙයි. ඉන් පිටතත්. ආරක්ෂක තත්ත්වය බලන්න මෙහි ආපු වෙලාවේ මම ලබා දුන්න සහතිකය පිළිබඳව ක්‍රීඩා ඇමැතිතුමා, සභාපති ශම්මි සිල්වා මහතා මෙන්ම අපේ රජයත් ඒකමතිකවම තීරණය කළා පාකිස්තානු සංචාරයට සහභාගිවිය යුතුයි කියලා”යි පැවැසීය.

Related posts

21-year old Harshitha Madavi regarded as future torchbearer of SL Women’s Cricket

Web Admin

නවසීලන්තයේ පෙරහුරු සටන වැස්ස නිසා ප්‍රමාද වෙයි

Web Admin

බංග්ලාදේශ පිලේ නායකයා හදිසියේ වෙනස් වෙයි

Web Admin