Developments Featured Media Centre Media Releases News

දක්ෂ ක්‍රීඩකයින් ඉදිරියට ගේන්න බුද්ධි කේන්ද්‍රයෙන් අළුත් වැඩක්

By Chamila Karawita

ක්‍රිකට් දියුණු කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරපු සංවර්ධන වැඩපිළිවෙළ අතර විශාලම වැඩපිළිවෙළක් බවට පත්වූයේ ‘බ්‍රේන් සෙන්ටර්’ එක එහෙමත් නැත්නම් ‘බුද්ධි කේන්ද්‍රය’ පිහිටුවීම. ක්‍රිකට් වලට ‘බ්‍රේන් සෙන්ටර්’ එකක් කියන එක බැලූ බැල්මට අපිට අමුතු දෙයක් බවට පත් වුවත් නවීන තාක්ෂණය භාවිතා කරමින් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට නම් මේක අළුත් දෙයක් නොවෙයි.

ඒත් ලංකාවේ අපිට නම් ‘බුද්ධි කේන්ද්‍රය’ කිව්වම ඒ ගැන වැඩි අවබෝධයක් තවම නැහැ. ‘බ්‍රේන් සෙන්ටර්’ එක, එහෙමත් නැත්නම් ‘බුද්ධි කේන්ද්‍රය’ කියන්නේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන බොහෝ ක්‍රීඩකයන්ගේ දත්ත රැස් කරලා තියෙන අතිශය වැදගත් තැනක්. හරියට ගත්තොත් ලෝකෙ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතර දත්ත නැති ක්‍රීඩකයෙක් මේ ‘බුද්ධි කේන්ද්‍රයේ’ හොයා ගන්න නැති තරම්. තේරෙන භාෂාවෙන් කියනවා නම් ලෝකෙ ක්‍රීඩකයින්ගේ තරග රටාව, කණ්ඩායම්වල තරග රටාව, එහි සැලසුම්, පරාජය කිරීම සඳහා උපක්‍රම සහ සැලසුම් යන සියළුම දත්ත ගබඩා කරලා තියෙන්නේ මේ ‘බුද්ධි කේන්ද්‍රයේ’.

තරගාවලියකට ක්‍රීඩා කිරීමට කළින් ඒ ඒ රටවල ක්‍රීඩකයින්ගේ දක්ෂතා වල තියෙන රහස්‍ය තොරතුරු ඔක්කොම ලබා ගන්න, පුහුණුකරුවන්, කලමනාකරු මෙන්ම නායකයා එන්නේ මෙතැනට. ‘බ්‍රේන් සෙන්ටර්’ එකේ අපේ ක්‍රීඩකයින් ගැන විතරක් නොවෙයි කළින් කිව්වා වගේ මුළු ලෝකෙම ඉන්න ක්‍රීඩකයින්, රටවල් ගැන මේකෙ තොරතුරු තියනවා. ඇත්තටම මේ ‘බුද්ධි කේන්ද්‍රයෙන්’ වර්තමානයට වඩා මෙය වැදගත් වන්නේ අනාගතය සඳහායි. උදාහරණයක් වශයෙන් මේ දත්ත පෙන්වීමෙන් ඊළඟ තරග සංචාරයට මුහුණ දෙන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ලබා සැලසුම් සහගතව අවතීර්ණ වීමේ හැකියාව උදා වෙනවා.  මෙහි වීඩියෝ පට පමණක් නොවෙයි අවශ්‍ය වෙලාවට ඒ ඔක්කොම ගන්න සුරක්ෂිතව ගබඩා කරලා තියෙන නිසා ඕනෑම වෙලාවක තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ වගේ දෙයක් මුළු ආසියාවේ ක්‍රීඩා කරන රටවලින් ඉන්දියාවට ඇරුණාම තියෙන්නේ අපිට විතරයි.

පටන් ගත්ත කාලෙ නම් මේකෙන් කෙරුණේ ජාතික කණ්ඩායම් කීපයට අදාළ අවශ්‍ය දත්ත එක් රැස් කොට අවශ්‍ය වෙලාවට ලබා දීම. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඳන්,  ඒ කණ්ඩායමේ, නැගී එන කණ්ඩායමේ, අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ, කාන්තා කණ්ඩායමේ සහ වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් වල තොරතුරු පමණයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් දැන් එය දේශීය තරග පිටිය දක්වා දියත් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදලා. ‘බුද්ධි කේන්ද්‍රය’ පිහිටුවලා ගෙවී ගිය අවුරුදු 2 ඇතුළත වීඩියෝ සහ සංඛ්‍යාන තොරතුරු, පරිගණක දත්ත ටෙරා බයිට් 100 ක ධාරිතාවක් මේ වන විටත් ගබඩා කරලා තියෙනවා.

එයට අන්තර් සමාජ සහ අන්තර් පළාත් තරගාවලි ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 24 ම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ව ‘බුද්ධි කේන්ද්‍රය’ වෙත ගෙන්වාගෙන සිදුකරන ලද විශ්ලේෂණ වැඩ සටහන් හරහා ඒ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ටද ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඉදිරි සැලසුම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙයටම සමගාමීව ක්‍රිකට් විනිසුරුවන්ටද මේ ‘බුද්ධි කේන්ද්‍රය’ භාවිතා කිරීමේ හැකියාව පවතින අතර ඒ හරහා ඔවුන්ගේ වෘත්තීය මට්ටමේ දියුණුව තව තවත් වැඩිදියුණු කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. 

අපිට තිබුණු ලොකු ගැටළුවක් තමයි දේශීය තරගාවලියන්හිදී දක්ෂ ක්‍රීඩකයින්ව හඳුනා ගැනීම සහ ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව හරි තක්සේරුවක් සෘජුවම ලබා ගැනීමට නොහැකි වීමේ අඩුපාඩුව. ඒ වගේම නවීණ තාක්ෂණය භාවිතයෙන් මේ පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම අපිට තිබුණු තවත් ලොකු අඩුපාඩුවක්. අන්න ඒ නිසා තමයි වත්මන් පරිපාලනය ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ කටයුත්ත රට පුරාම ක්‍රියාත්මක කරවන්නට කටයුතු යෙදුවේ. ඒ වැඩ පිළිවෙළ සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පත් කරලා ඉන්න පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන් මාර්ගයෙනුයි.

‘බ්‍රේන් සෙන්ටර්’ එකේ ප්‍රධානියා, එහෙමත් නැත්නම් කලමනාකරු විදියට වැඩ කරන සම්පත් හෙට්ටිආරච්චි මහත්මයා තමයි මේ කටයුත්ත වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කෙරුවේ. එහිදී මුලින්ම කෙරුවේ රට පුරා ඉන්න සියළුම පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන් මෙන්ම ඒ පළාත් වෙනුවෙන් සම්බන්ධීකාරකවරුන් විදියට කටයුතු කරන පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවලා ඒ පිළිබඳව මූලික අවබෝධයක් ලබා දුන්න එක.

මෙතැනදී ප්‍රධාන වශයෙන්ම සිදුවුණේ නවීන තාක්ෂණය භාවිතා කරමින් ක්‍රීඩකයින්ගේ තොරතුරු සහ දත්ත ‘බුද්ධි කේන්ද්‍රයත්’ එක්ක හුවමාරු කරගන්න ආකාරය පිළිබඳව පුහුණුකරුවන්ව දැනුවත් කරපු එක. ඒ එක්කම ඒ ඒ පුහුණුකරුවන් සෑම සතියකම සිදු කරන පුහුණු වැඩසටහන් පිළිබඳව සති අන්තයේ වාර්තාවන් ලබා දීම, ඒ අනුව යමින් මාසිකව වාර්තා සකස් කොට ‘බුද්ධි කේන්ද්‍රය’ වෙත යොමු කරන ක්‍රමවේදය මෙහිදී පුහුණුකරුවන් ඇතුළු පිරිස දැනුවත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතාගේ සංකල්පයක් මත සිදු කෙරුණු මෙම වැඩ සටහන මගින් ලබා ගන්නා තොරතුරු පුහුණුකරුවන්ගේ ද දක්ෂතාද ඇගැයීම සඳහා වඩාත් යෝග්‍ය වනු ඇත. මේ වැඩපිළිවෙළහි සිදුකෙරුණු විශේෂම දේ තමයි ක්‍රීඩකයින්ව හඳුනා ගැනීම වෙනුවෙන් අනු අංකයක් ලබා දීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.

මෙතැනදි සිදුවෙන්නේ කිසියම් පළාතක හෝ දිස්ත්‍රික්කයක, ඉදිරියට එන්න පුළුවන් කියලා  හඳුනාගත්ත ක්‍රීඩකයකු වෙනුවෙන් එම අනු අංකයක් ලබා දීම. ක්‍රීඩකයාගේ ජීවිත කාලය පුරාම ඔහුගේ දත්ත රැස් වන්නේ මේ අනු අංකය හරහායි. ඒ හරහා ඔහු දක්වනු ලබන දක්ෂතාවයන් පිළිබඳව සියළුම තොරතුරු ගබඩා කිරීම මේ හරහා සිදුවෙනවා. මෙතැනදි ඔහු දිගින් දිගටම දක්ෂතා දක්වීමට සමත් වුවහොත් ඔහු ඉදිරියට ගැනීම සඳහා වන සියළු තොරතුරු, තේරීම් කමිටුවට ලබා දීමේ හැකියාව මෙමගින් පවතිනු ඇත.

මෙවැනි වාර්තා කිරීමේ වැඩපිළිවෙළක් මින් පෙර පැවැති නමුත් ඒ සියල්ල සිදු වුණේ කඩදාසි භාවිතයෙන්. එහෙම වුණාම සිදුකරගෙන යන වැඩපිළිවෙළ හරියටම කිරීම තරමක් ගැටළුකාරීත්වයක් මතු කරවනවා. නමුත් නවීණ තාක්ෂණය භාවිතයෙන් සිදුකරනු ලබන වැඩපිළිවෙළිහි සියල්ලම සිදු වන්නේ විද්‍යුත් තැපෑල (ඊමේල්) භාවිතයෙන්. ඒක නිසා මෙතැනදී අත පසු වීම් හෝ වගකීම්  පැහැර හැරීමේ හැකියාවක් නැති වෙනවා. ඒ වගේම හිතවත්කම මත පදනම්ව සිදු කෙරෙන තේරීම් වලටත්මේ හරහා තිත තැබෙනවා.  

මේ ගැන අදහස් දැක්වුව සම්පත් හෙට්ටිආරච්චි මහත්මයා කිව්වේ, ක්‍රීඩකයන් සොයා ගැනීම වෙනුවෙන් මේ ක්‍රමවේදය ලෝකයේ ගොඩක් රටවල් භාවිතා කරන බවයි. මෙහිදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව මෙම ක්‍රමවේදය භාවිතා කරනුයේ දශක දෙකකට අධික කාලයක් තිස්සේ කියලා තමයි සම්පත් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි සම්පත් හෙට්ටිආරච්චි මහතා, “අපි මේ වෙනුවෙන් හැම පුහුණුකරුවකුම ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දුන්නා. එයාලා කරන සියළුම වීඩියෝ දත්ත, සතියේ සැලසුම් මෙන්ම මාසික වාර්තාවන් සියල්ල බ්‍රේන් සෙන්ටර් යොමු කිරීමේ හැකියාව පවතිනවා. හැම මාසෙම 25 වැනිදා අපි එයාලට අපේ ප්ලෑන් එක යනවා. 30 වැනිදා වෙන කොට එයාලා එක සම්පූර්ණ කරලා අපට එවන්න ඕන”.

“අපි අනු අංකය ලබා දුන්නේ ක්‍රීඩා කරන ඔක්කොටම ක්‍රීඩකයින්ට නොවෙයි. ඉදිරියට එන්න පුළුවන් කියලා හඳුනගත්ත ක්‍රීඩකයන් වෙනුවෙන් තමයි මේ අනු අංකය නිකුත් කරනු ලබන්නේ. ඒ හරහා එම ක්‍රීඩකයගේ ඡායාරූපයක් පවා මෙහිදී භාවිතා කෙරෙනවා. මේ අංකය ලබා දීමට කටයුතු කරන්නේ පුහුණුකරුවන් සිදුකරන නිර්දේශ කිරීම මත. එහෙම කළා කියලා එක පාරටම ඔහුව අනු අංකයක් නිකුත් කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. ඔහු ලබා දෙන තොරතුරු අනුව දක්ෂතා පිළිබඳ තක්සේරුවක් ලබා දෙන කෙනෙක් (Talent searcher) එම ක්‍රීඩකයාගේ දක්ෂතා අනුමත කළ යුතුයි. ඊට පස්සේ තමයි අපි ඒ අනු අංකය නිකුත් කරන්න කටයුතු කරන්නේ”.

“මේක හරහා හිතවත් කම මත කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ. ඊට අමතරව පළාත් කණ්ඩායම් තෝරා ගැනීමේදීත් මේකට ලොකු දායකත්වයක් ලබා දෙනවා. මොකද සියළු තොරතුරු අපේ ළඟ රැස් වෙලා තියෙන නිසා. මෙයින් ගොඩක්ම දායකත්වයක් ලැබෙන්නේ තේරීම් කමිටුවටයි. මොකද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගැන ඕනෑවටත් වඩා සාක්ෂි අපි ගාව තියෙන නිසා. මේ ක්‍රමය හරහා එක දිස්ත්‍රික්කයකින් ක්‍රීඩකයින් කීප දෙනෙකුම බිහිවීමේ හැකියාව පවතිනවා. එහෙම වුණොත් අපිට පුළුවන් ඒ අය කණ්ඩායමක් විදියට හදලම එළියට ගන්න. මේ විදියට තමයි ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ගොඩක්ම ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා භාවිත කරන්නේ”යි සම්පත් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවම නියෝජනය කරපු පළාත් සහ පුහුණුකරුවන් 56 ක් සහභාගි වුණා. වැඩමුළුව මෙහෙයවපු සම්පත් හෙට්ටිආරච්චි මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා,  ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී අනුර වීරසිංහ යන මහත්වරුත් මේ අවස්ථාවේදී මෙම වැඩසටහනෙහි ඇති වැදගත් කම පිළිබඳව පුහුණුකරුවන් දැනුවත් කිරීමට කටයුතු කළා.

Related posts

Sri Lanka crash out; lose to Afghanistan by 7 wickets

Web Admin

තරුණ දක්ෂයින් මතුවිම අනාගතයට සුබ පෙර නිමිත්තක් – කොළඹ ප්‍රධාන පුහුණුකරු කියයි

Web Admin

එක්දින තරගාවලියට පෙර බංග්ලාදේශය පුහුණු තරගයකට සැරසෙයි

Web Admin