Featured Media Centre News Womens Cricket

නැගී එන තරගාවලියේ ඔප්නැංවුණු හර්ෂිතා…

By Chamila Karawita

රබර් බෝලයක් හෝ ටෙනිස් බෝලයක් භාවිතයෙන් තැන තැන ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා ළමුන් කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය දසුනකි. එසේ ක්‍රීඩා කරන්නවුන් සියල්ල පිරිමි ළමුන් වන අතර ඒ අතර ගැහැණු ළමයකු සොයා ගැනීම යනු අතිශය අසීරු කටයුත්තකි. එහෙත් මේ කතාව, පිරිමි ළමුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් වරම් වාසනාවන්ත වූ ක්‍රීඩිකාවක් පිළිබඳවය. නවාතැන් ගෙන සිටි කොළඹ පොලිස් මහල් නිවාස සංකීර්ණයේදී සිය වැඩිමහලු සොහොයුරා සමඟ සෙල්ලමට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය ඇය අද වන විට ජාතික කණ්ඩායම දක්වා පැමිණීමට සමත්ව සිටින්නීය. ජාතික කාන්තා කණ්ඩායමේ වර්ණලාභිණියක මෙන්ම ඉකුත්දා නිමාවට පත් වුණු නැගී එන කාන්තා කණ්ඩායම් අතර වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරන ලද ඇය නමින් හර්ෂිතා මාධවීය.

මේ වන විටත් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද හර්ෂිතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ඉකුත්දා පැවැති නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිතිකාරිණියක් ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වූවාය. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධානම රටවල් වන ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශ කණ්ඩායම් වල සහභාගිත්වයෙන් පැවැති එම තරගාවලියේදී සියළු පිතිකාරිණියන් අභිබවා වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව බවට ඉදිරියට ඒමට හර්ෂිතා සමත්වූවාය.

මෙම තරගාවලියේ ශූරතාවත් ඉන්දීය ආධිපත්‍යට නතු වද්දී ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එම ගමනේදී හර්ෂිතාගේ පිත්තෙන් වූ සේවය අති විශීෂ්ඨ ගණයේ විය. සාමාන්‍ය පරිදි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමෙන්නේ ශූරතාව දිනාගනු ලබන කණ්ඩායමේ සාමාජිකාවකට වුවත්, මෙම තරගාවලියේදී පිතිකාරිණියක් ලෙස හර්ෂිතා දක්වන ලද උසස් දක්ෂතාව හේතුවෙන් එම වටිනා සම්මානය හර්ෂිතාට පිරිනැමීම හැර වෙන ක්‍රීඩිකාවකට ලබා දීමට තරගාවලිය සංවිධානය කරන ලද ආසියානු ක්‍රිකට් කවුන්සිලයටද නොහැකි විය.

අවසන් මහ තරගය ද ඇතුළුව සමස්ථ තරගාවලියේ තරග 3 ම නියෝජනය කළ හර්ෂිතා මුළු ලකුණු 147 ක් රැස් කිරීමට සමත්වූවාය. ඇයගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49 ක් ලෙස සටහන් ව තිබෙන අතර එයට පිට පිටම රැස් කරන ලද අර්ධ ශතක 2 ක්ද ඇතුළත් වීම කැපී පෙනෙයි. වර්ෂාව හේතුවෙන් බාධා ඇතිවීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැති තරගය ශ්‍රී ලංකාවට මඟ හැරුණද ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරන ලද පළමු තරගයේදීම ලකුණු 55 ක් රැස් කරමින් හර්ෂිතා පිතිකාරිණියක් ලෙස කැපී පෙනුණි.

ආසියානු කුසලාන තරගාවලියේ පළමු අර්ධ ශතකය ලෙසින්ද සටහන් වුණු එම ලකුණු 55 ක ඉනිම සඳහා හර්ෂිතා පන්දු 93 කට මුහුණ දුන්නාය. හතරේ පහර 4 කින් සමන්විතව රැස් කරන ලද එම අර්ධ ශතකය නැගී එන තරග දිවියේ ඇය වාර්තා කර ගන්නා ලද පළමු අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් ක්‍රීඩිකාවන්ගේ සහාය අවම මට්ටමක පැවැතීම නිසා මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට පසුබැසීමට සිදුවිය.

ඉන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ බංග්ලාදේශයට එරෙහිව වූ තරගයයි. අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම් එම තරගයේ ජය ශ්‍රී ලංකා පිලට අනිවාර්යය විය. එපමණක් නොව එම තරගයට පෙර පාකිස්තානයට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට බංග්ලාදේශ පිල සමත්වී සිටීම නිසා අවසන් මහ තරග උදා කර ගැනීමට නම් එම තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයගත යුත්තේද වැඩි දළ ලකුණු ලබා ගැනීමේ වේගයක් සමගින් වීම තවත් අභියෝගයක් විය.

එම තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 128 ක ඉලක්කයක් හිමිවූ අතර අවසන් මහ තරග වරම දිනා ගැනීමට නම් එය පන්දුවාර 35 ක් ඇතුළත ලබාගත යුතුවිය. එම අභියෝගය කර මත තබාගනිමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායමේ පිතිකාරිණියන් අතරින් හසිනි පෙරේරා මුලු ලකුණු සංඛ්‍යාව 01 ක්ව තිබියදී පිටියෙන් ඉවත්ව ගියාය. අනතුරුව පිටියට පිවිසි හර්ෂිතා කිසිදු අපහසුවකින් තොරව පිටිය වටා පන්දුව යැවීමට සලස්වමින් පන්දු 83 කදී ලකුණු 53 ක් ලබා තම කණ්ඩායමට අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් ප්‍රධාන කාර්යය භාරය ඉටු කළාය. මෙම අර්ධ ශතකය ඇය විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය විය.

අනතුරුව පැමිණියේ අවසන් මහ තරගයයි. එම තරගයේදී පන්දුවාර 35 කදී ලකුණු 149 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිවූ අතර එහිදීද පිත්තෙන් දක්ෂතා දැක්වීමට හර්ෂිතා සමත්වූවාය. ලකුණින් ලකුණ එකතු කරගත් හර්ෂිතා ශ්‍රී ලංකා පිල ජය කණුව කරා රැගෙන යෑමේ උත්සාහයක නිරත වුවද ලකුණු 39 ක් ලබා සිටියදී දැවී යෑම ශ්‍රී ලංකා පිලට ප්‍රබල පාඩුවක් විය. කෙසේ වෙතත් පසු පෙළ පිතිකාරිණියන්ගේ දායකත්වය මත ශ්‍රී ලංකාව එම තරගයෙන් පරාජයට පත්වූයේ ජයග්‍රහණයේ ආසන්නයටම (ලකුණු 14 කින්) පැමිණෙමිනි. සත්කාරකත්වය දැරුවද අනුශූරතාවෙන් පමණක් ශ්‍රී ලංකාවට සෑහීමකට පත්වීමට සිදුවද්දී  හර්ෂිතාගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49 ක් ලෙසින් සටහන්විය.

හර්ෂිතා ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරී පත්වන්නේ වයස අවුරදුදු 17 දීය.විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හර්ෂිතා පැමිණෙන්නේ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙනි. වමතින් පිත්ත හසුරුවන ඇයගේ ජාත්‍යන්තර තරගාවලි ආගමනය ලෝක කුසලාන තරගාවලියකින් ආරම්භ වීමද සුවිශේෂී සිදුවීමක් ලෙසින් හැඳින්විය හැක. කණ්ඩායමට නම් කළද තරගාවලිය නියෝජනය කිරීමට තරම් ඈ වාසනාවන්නත නොවුවාය. හදිසියේ හටගත් ආබාධයක් ලෝක කුසලාන ගමනේදී හර්ෂිතාගේ බාධාවට හිටියේය.

එතැනින් නොනැවතුණු ඇය දිගින් දිගටම පිතිකාරිණියක් ලෙසින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටින්නීය. එක්දින තරග 13 ක සහ විස්සයි-20 තරග 9 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති හර්ෂිතා පාසල් 3 කදී අධ්‍යාපනය හදාරා තිබේ. පළමු වසරේ සිට 5 වැනි වසර දක්වා සංඝමිත්තා විදුහලෙත්, සාමාන්‍ය පෙළ දක්වා ගෝතමී බාලිකා විදුහලෙත් අධ්‍යාපනය හදාරා ඇති ඇය නුගේගොඩ අනුලා විදුහලින් උසස් පෙළ හදාරා තිබේ.

කුඩා කාලයේ සිටම වයස අවුරුදු 10 වන තෙක් සිය වැඩිමහල් සහෝදරයා සමඟින් ක්‍රිකට් ක්‍රීඩා කළ හර්ෂිතා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ ගෝතමී බාලිකා විදුහලට පැමිණීමෙන් පසුවය. වයස අවුරුදු 15 සිටම විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා වරම් ලබා ගැනීමට තරම් විශේෂිත දක්ෂතාවයක් හර්ෂිතා සතු වූවාය.

ඒ පිළිබඳ තොරතුරු හර්ෂිතාගේ වචනයෙන්ම මේ අයුරිනි. “අපි ඉස්සර හිටියේ බොරැල්ලේ පොලිස් නිවාසවල. එහෙ ඉන්නකොට අයියත් එක්ක එයාගේ යාලුවොත් එක්ක ක්‍රිකට් ගහන්න ගියා. ඒ එක්කම රූපවාහිනියේ ගිය ක්‍රිකට් තරගත් නැරඹුවා. ඒ ආසාවත් එක්ක තමයි මම ක්‍රිකට් වලට පෙළැඹුණේ. ගෝතමී විද්‍යාලයට ආවම තමයි ක්‍රිකට් ක්‍රීඩා කළේ”යි හර්ෂිතා අදහස් දැක්වන්නීය.

ක්‍රිකට් යනු එවකට කාන්තා පාර්ශ්වයට එතරම් විවෘත ක්‍රීඩාවක් නොවුණද එයට නැඹුරුවීමේදී දෙමව්පියන් හරස් නොවුණු බවද මෙහිදී හර්ෂිතා අදහස් දක්වා සිටියාය. “අයියා යනකොට මාත් සෙල්ලම් කරන්න ගියා. අම්මයි තාත්තායි කවදාවත් කිව්වේ නෑ ක්‍රිකට් ක්‍රීඩා කරන්න එපා කියලා. ඒ දෙන්නා අපිට කැමැති දේ කරන්න නිදහස දීලා තිබුණා. අම්මා හැම තිස්සේම කිව්වේ ක්‍රීඩා කරනවා වගේම අධ්‍යාපනයත් සමබරව තියාගෙන යන්න කියලා. තාත්ත ගොඩක් මේ තත්ත්වයට එන්න උදව් කළා”යි හර්ෂිතා පවසයි.

“මම අවුරුදු 15 ඉඳන් ඉස්කෝලෙ පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කළා. 2013 වසරේදී තමයි මම පළමු පෙළ ක්‍රීඩා කළේ. ඒ තරගාවලියේදී මම හොඳම පිතිකාරිණිය වගේම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව කියන සම්මාන දෙකම දිනාගත්තා. ඒකෙන් පස්සේ වයස 23 න් පහළ පළාත් තරගාවලියට මාව තෝරගත්තා. එතනත් හොඳට සෙල්ලම් කරපු නිසා මාව මේජර් ප්‍රොවින්ෂියල් කියලා ජාතික කණ්ඩායම නියෝජනය කරන අක්කලත් එක්ක ක්‍රීඩා කරන්න තෝරගත්තා. එතකොටත් මගේ වයස අවුරුදු 15 යි. ඒ තරගාවලියේදී මම ක්‍රීඩා කළේ කම්බයින් ටීම් එකට. එකෙත් හොඳට කරපු නිසා මාව ජාතික සංවර්ධන සංචිතයට තෝරා ගනු ලැබුවා. ඊට පස්සේ 2016 අවුරුද්දේ මාව නැෂනල් ටීම් එකට තෝර ගත්තා. ඔන්න ඔහොම තමයි මම ක්‍රීඩිකාවක් විදියට ඉදිරියට ආවේ”යි ජාතික තලය වෙත පැමිණි ගමන් මාර්ගය හර්ෂිතා විස්තර කරන්නීය.

නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියේදී පිතිකරණයෙන් දක්ෂතා දැක්වුවද තරගාවලිය ජය ගැනීමට නොහැකි වීම පිළිබඳ ඈ සිය කණස්සල්ල පළ කර සිටියි. “මම මගේ සාමාන්‍ය පිතිකරණ රටාවෙන් ක්‍රීඩා කළේ. පන්දුව එන පැත්තට තමයි මම පහර එල්ල කරලා ලබාගත්ත අර්ධ ශතක පිළිබඳව සංතෝෂයක් තියෙනවා. ඒත් ලොකු උවමනාවක් තිබ්බා අවසන් මහ තරගය දිනවන්න. නමුත් අවස්ථාව හම්බ වුණේ නෑ. ඒ ගැන කණගාටුයි”.

“අපිට මේ තරගය දිනන්න තිබ්බා. නමුත් පොඩි පොඩි අඩුපාඩු නිසා ඒ දේ කරගන්න බැරි වුණා. ක්‍රිකට් දිනනවා, පරදිනවා. එදා දවසට හොඳට කරන අය තමයි දිනන්නේ. අපේ පිතිකරණය පැත්තෙන් හොඳ සම්බන්ධතා ටිකක් ආව නම් අපිට දිනන්න තිබ්බා. නමුත් අපි සටන අතඇරියේ නෑ. අවසන් පන්දුව තෙක්ම සටනක් දුන්නා” යැයිද හර්ෂිතා මාධවී වැඩිදුරටත් අදහස් දක්වා සිටියාය.

Related posts

දික්වැල්ලගේ ආබාධය බරපතල නෑ

Web Admin

Video: Pre Match Conference, 2 Test at P Sara

Web Admin

India beat Pakistan by 60 runs; Afghanistan beat Kuwait by 7 wickets

Web Admin